ත්‍රස්තවාදියා

 මළ හිරුගේ ගිනි ගහන රැස් දහරාව දෑසට ගෙන එනුයේ විඩාවකි. නමුත් ඒ උණුසුමට මම කවදත් ප්‍රිය කළෙමි. පානදුරෙන් ගොඩ වෙද්දී කොළඹ කොටුව දක්වා දිවෙන සවස දුම්රියේ කොතෙක් අසුන් තිබුණද මුහුදට මුහුණළා ඇති දොරටුව සමීපයේ හිටගෙන යෑම දස වසරක් පුරා මගේ දින චරියාවේ ම අංගයක් වී ඇත්තේ මටම වෙනස් කළ නොහැකි ආකාරයෙනි. සැබවින්ම මා එයට මෙතරම් ආශාක්ත වන්නේ උණුසුම් හිරු රශ්මිය නිසාද, නැතිනම් මග දිගට පසුවන්නා වූ නෙත්කළු දර්ශනයන් නිසාද, එසේත් නැතිනම් මේ වසර ගණන පුරාවට අසුනක වාඩි වී ගමන් කිරීමෙන් ලබාගත නොහැකි වූ අත්දැකීම් සම්භාරයක් කිසිවෙකුගෙත් ඇස නොගැටී ලබා ගැනීමට මෙම දොරටුව මහත් පිටිවහලක් වූ නිසාද යන්න පැහැදිලිව කිව නොහේ. කෙසේ වතුදු මා ඒ වන විටත් සිටියේ තවත් අත්දැකීමක රසය විඳීමේ නොතිත් ආශාවකිනි. අවසානයේ දී මට මා කෙරෙහිම කළකිරීමක් පමණක් ඉතිරිකර ගෙවී  යන කාලයක් සම්බන්ධව පවතින්නා වූ මේ ලැදියාව විටෙක මා සිතෙහි ජනිත කරනුයේ පුදුමයකි. ගොදුරක් අපේක්ෂාවෙන් කල් මරන බිළාලයකු මෙන් මම නොඉවසිල්ලේ පසුවීමි.


පෙර බොහෝ දිනවල මෙන් මෙදිනද මාගේ ගොදුර මා සමීපයටම ඇදී ඒමට වැඩි කාලයක් ගත නොවුනි. පරීක්ෂාකාරී දෑස ද මාගේ අභිලාශය අනුමත කරන්නටම සුසැදි මදහස ද එය ඉතාමත් පහසු ගොදුරක් බව මට පසක්කර දුනි. මම ඔහු දෙස බැලුවෙමි. ඔව්.. ඔහු... මා මෙතෙක් ගොදුරකැයි ඇමතූ ඔහු මෙතෙක් මා නුදුටුවෙකි. ඇතැම් දිනවල මට එකම ගොදුරකින් සෑහීමට සිදුවී ඇත. තවත් අයවලුන් මා නිතරම දුම්රියේ යනෙනා විට දකින්නන්ය. නමුත් මේ නැවුම් මාංශයකි. ඔහුද මා ගැන සිතනුයේ එලෙසම විය හැකිය. මාද ඔහුට ගොදුරක් ලෙසට පෙනෙනු ඇත.

මම ඔහුව පිරික්සුවෙමි. හෙතෙම ළාබාල තරුණයෙකි. මාගේ වයසින් අඩකටත් වඩා අඩු පෙනුමකින් යුක්තය. දිදුලන කාලවර්ණ සමත් තියුණු දෙනෙත් මධ්‍යයේ පිහිටි සුදු සඳුන් කුඩුත් ඔහුගේ ජාතිය ජන්මය කියාපායි. නමුත් එය මට බාධාවට කරුණක් නොවේ. ඒ වන විටද අප දෙනෙත් අපගේ මූලික හඳුනාගැනීම් සිදුකරමින් සිටියහ.

“උඹ පොඩියි..” ඒ මම.

“එළියෙන් බලපු පලියට ලොකු පොඩි කියන්න බැහැ...” ඒ ඇස් දඟකාරය.

“මං වගේ තලත්තෑනි මිනිහෙක්ට උඹ කැමතිද..?”

“ඔව්.. මං උඹට කැමතියි..”

“මමත් උඹට කැමතියි..”

මේ අතර මුවින් එකදු වදනකදු නොදොඩා දෑසින් සිදුවූ කතාබහ තවත් දුර ගෙනයාමට අපගේ දෙඅත් උත්සාහ දරමින් තිබුණි. මහ සයුර විසින් හිරු ගිල ගනිමින් තිබුණේ අපට ආශීර්වාදයට මෙන් හාත්පස ළා අඳුරක් එක්කරමිනි. දුම්රිය ස්ථානයක නතරවන සෑම විටෙකම තාවකාලික විවේකයකට පිළිපන් අපි දුම්රිය ගමන අරඹත්ම නැවත වැඩ ඇල්ලුවෙමු. පසුවූයේ ගල්කිස්ස දුම්රිය ස්ථානයයි. ඊළඟ නැවතුම මගේ ගමනාන්තයයි. ඊට පෙර මෙහි නිමාවක් දැකිය යුතුය. එක්කෝ තරුණයා මාගේ නවාතැනට ගෙනගොස් මෙම පහස දිගටම විඳිය යුතුය. නැතහොත් ඔහුට සමු දී ඔහුගේ මතකයේ බර මාගේ සුරතට ලබාදිය යුතුය. උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වූවාක් මෙන් මම කල්පනා කළෙමි. මේ නන්නාදුනන්නෙකි. සේරටමත් වඩා දමිළයෙකි. ගෙවී යනුයේ පොට්ටුවක් වේට්ටියක් දුටුවත් සැකයෙන් බලන්නා වූ යුගයකි. මෙවැන්නෙකුට මා ජිවත්වන ස්ථානය හෙළි කිරීම අනාරක්ෂිත විය නොහැකිද? මාගේ කල්පනා ලෝකය බිඳී ගියේ විශාල පිපිරුම් හඬක් සමඟ ඇතිවූ ගැස්මකින් අප දෙදෙනාම දුම්රිය ඇතුළට ඇද වැටීමෙනි.

No comments:

Post a Comment