විලියම්ගේ කතාව

විලියම් 

වෙහෙසකර දිනයක් නිසා විලී ඉක්මනින්ම නිදා ගන්න ගියා.ඒත්  මන් පාන්ඳර එක වනතුරුම ප්‍රාන්ත පාපන්දු තරඟාවලියේ අවසාන මහා තරඟය නරඹමින් හිටියා.තරඟය නිම වෙන්නත් කලින් මන් රූපවාහිනිය නිවා දමා නිදන කාමරයට ගියේ, මන් ආස කරන කණ්ඩායම පරාජය වෙමින් හිටිය නිසයි.

                 විලී කොට්ටෙකුත් බදා ගෙන හොදටම බුදි.මට පව් කියලා හිතුණා.මේ දවස් වල එයා රැකියාව කරන ආයතනයට වැඩ අධිකයි.මන් පරිස්සමෙන් ඇල වුණේ විලීට ඇහැරේවි කියලා හිතලා.ඒත් යන්තම් ඇස් ඇරලා බලපු විලී මට සමීප වෙලා ඇඟට උඩින් අතක් දැම්මා.මන් විලී කියලා ආදරේට කිව්වට එයාගේ නියම නම විලියම් කාටර්.අපි දෙන්නා එකට ජීවත් වෙන්න පටන් අරන් දැන් අවුරුදු 5කටත් වැඩියි.

                නගරයේ නිවාස තියෙන හරිය කොහොමත් නිස්කලන්ක නිසා රාත්‍රියට මෙහෙ බොහොම නිශ්ශබ්දයි.ඒ නිසාමද කොහෙද මට ටික වෙලාවකින් ඇහෙන නොඇහෙන තරමේ සිහින් කෙදිරියක් ගෙදර පිටුපස පැත්තෙන් ඇහුණා.ඔළුව උස්සලා මම හොදට ඇහුම්කන් දුන්නා.මිනිත්තු කිහිපයකින් ආපහු ඒ කෙදිරිය ඇහුණා.

       "විලී,මොකක්ද සද්දයක් ඇහෙනවා පිටිපස්ස පැත්තෙන්" මගේ ඇඟ වටා එතී තිබූ විලීගේ අත යන්තමින් සොලවමින් මන් පැවසුවා. "හ්ම්ම්... මොකක්ද කිව්වේ" හීනෙන් මෙන් විලී මුණින් අතට හැරුණා. "මන් ගිහිල්ලා බලලා එන්නම්" "ඔහොම ඉන්න​,මාත් එන්නම්" ඈනුමක් ඇරිය විලී නිදිමතේම වැනෙමින්  මේසේ උඩ තිබ්බ විදුලි පන්ඳම අතට ගත්තා.

                           පිටුපස දොර හැරිය විලී මිදුල දිහාට විදුලි පන්ඳම එල්ල කළා. "කෝ මුකුත් නැහැනේ?"  "අන්න අර පැත්තට ඕක අල්ලන්න​" මන් තරමක් එහාට වෙන්න තිබූ පදුරක් දිහාවට අත දිගු කරමින් පැවසුවා.විදුලි පන්ඳම ඒ දෙසට එල්ල කළ වහාම අපි දැක්කේ විදුලි ආලෝකයට දිලිසුණු ගිනි බෝල දෙකක්.
               
    "ඒ බල්ලෙක්නේ!" විලී එලෙස පවසනවාත් සමඟ ඌ පෙරටත් වඩා වැඩි සද්දෙකින් කෙදිරි ගාන්න පටන් ගත්තා.විදුලි පන්ඳම එල්ල කරමින්ම අපි ඌ අසළට ගියා.මා දුටු දුක්මුසුම වියපත්ම බල්ලා ඌයි.ස්පැනියෙල් වර්ගයට අයත් ඌ දුක්මුසු දෙනෙතින් අපි දෙස බලා හිටියේ "මන් මේ කොහෙද​?" අසන්නාක් මෙනි.

                අපගේ නිවස තරමක් උස් භූමියකයි පිහිටා තිබුණේ.මාවතේ සිට පඩි කිහිපයක් නැඟ ගොස් ගෙවත්තට පිවිසෙන ලෙස බෑවුම සකසා තිබුණා.මෙතරම් දුර්වල සතෙක් පඩි නැඟ ගෙන කොහොම ආවද කියලා අපිට හිතා ගන්න බැරි වුණා.

                         "අල්ලන්න එපා එයාව​!" මන් ඒ සතාගේ හිස පිරිමදින්න පහත් වෙන කොට විලී මාව වැළැකුවා. "එයාගේ ඇඟේ හැම තැනම තුවාල​,මැක්කො පිරිලා" විලී කියපු දේ ඇත්ත​.ඌ දුර්වල වගේම හොදටම අපිරිසිදු වෙලයි හිටියේ.විලී ගේ තුළට ගොස් මස් කැබලි කිහිපයක් සහිත භාජනයක් රැගෙන ආවා.ඌ එක් පාදයක් භාජනය තුළට දමා ගත් විට උගේ පෙනීම දුර්වල බව අපි වටහා ගත්තා.මන් භාජනය ඌගේ නහයට ළං කළා.අමාරුවෙන් වුණත් ඌ හෙමින් හෙමින් කන්න පටන් ගත්තා.

                   "අපි දැන් මොකද කරන්නේ?" විලී ඇහුවා. "අයිතිකාරයා හොයා ගන්නකම් අපි තියා ගමු" මන් යෝජනා කළා.ඒත් විලී එයට අකමැති බව මුහුණේ ඉරියව් වලින් මන් තේරුම් ගත්තා.විලී කොහොමත් සත්තුන්ට කැමති නැහැ. "හොදයි එහෙනම්... අපි ඌව ගබඩා කාමරේට ගෙනියමු" විලී එහෙම කිව්වේ මගෙ හිත රිදවන්න අකමැති නිසා.                 


      ගබඩා කාමරයෙන් ඉඩක් වෙන් කරපු අපි ඒ බිම මත පත්තර කොළ කිහිපයක් එලා,ඒ මත පරණ ඇද ඇතිරිල්ලකුත් දැම්මා.නමුත් ඌ වට කිහිපයක් කරකැවී ඒ මත නොඉද​,සිමෙන්ති පොළොවේ ඉද ගත්තා. "මෙයාට නම් මුකුත් තේරෙන්නේ නැහැ" විලී පැවසුවා. නිදිමතක් නොමැති ඒ රාත්‍රියේ මන් ටික වෙලාවක් ඌ ගැන කල්පනා කළා. "රෝගී තත්ත්වය නිසා අයිතිකරුවන් එයාව අතහැරලා දාන්න ඇති" මට හිතුණා.


                        පසුදින විවේකී ඉරිදා දිනයක් වුණත් අපි කාර්‍යබහුල වුණා. කෘමිනාශක ෂැම්පූ වර්ගයක් ගල්වලා ඌව නාවන්න ඉදිරිපත් වුණේ මමයි.විලී නම් පැත්ත පළාතේ ආවේ නැහැ.ඒත් විලී ඉරිදා පුවත්පත් සියල්ලම මිලදී ගෙන "සොයාදෙන්න​" තීරුවේ මේ සතා ගැන හෝඩුවාවක් තියෙනවද කියලා හොයලා බැලුවා.නාවන කොට ඌ වෙව්ලන්න පටන් ගත්තා.


          "තොරතුරක් තියෙනවද විලී?" මන් ඇහුවා.පත්තර මිටිය පසෙකින් තැබූ විලී හිස දෙපසට වැනුවා. "අපි අහළ පහළ ගෙවල් වලට ගිහින් හොයලා බලමු" මන් යෝජනා කළා. "ඔයාගේ කැමැත්තක්" අපි ගෙයින් ගෙට ගොස් සීනුව හඩවද්දී ඌ මගේ දෑත් වල ගුලි වෙලා සුවසේ නිදා ගත්තා.නමුත් කිසිවෙක් ඌව හදුන ගත්තේ නැහැ.අවසානයේ මන් අපේ වෙළෙදසැලේ  ඇතුල් වෙන දොරේ මෙන්ම ජනාකීර්ණ පෙදෙස් කිහිපයක දැන්වීම් පුවරු වල මේ අහිංසක සතා පිළිබද දැන්වීමක් පළ කළා.පුවත්පත් කිහිපයකටද මේ පිළිබද දන්වා යැව්වා.ඒ හැම දැන්වීමකම පළ කළේ අපි දෙන්නගේ ජංගම දුරකථන අංක මිස ගෙදර අංකය නෙවෙයි.කොයි මොහොතේ හෝ මට හෝ විලීට ඇමතුමක් ඒවි කියලා අපි බලාපොරොත්තු වුණා.


                    නමුත් දින තුනක් ගත වුණත් ඇමතුමක් ආවේ නැහැ.  "ඒ අසරණ සතාව පාරට විසි කරලා.කවුද එහෙම කළේ..  නීති විරෝධී වැඩක් වෙලත්" විලී පැවසුවේ තරමක කෝපයෙන්. "අපි මෙයාව තියා ගමු විලී" වල්ගය යන්තමින් වනමින් මන් දිහාත්,විලී දිහාත් ඌ මාරුවෙන් මාරුවට බැලුවා. "අපි මෙයාට ටිගර් කියලා නම දාමු" මාව විමතියට පත් කරමින් විලී පැවසුවා. "ඔයා මූව තියා ගන්න කැමතිද​?" මන් එහෙම ඇහුවේ පහුගිය දවස් වල මටත් වඩා විලී මේ සතාගේ නියම අයිතිකාරයා හොයන්න වෙහෙස වූ නිසයි.


                                                                                                                                                              "මන් පොඩි කාලේ ගෙවල් ලඟ කරදරකාර බල්ලෙක් හිටියා ටිගර් කියලා,ඌට පාපිසි, සපත්තු පෙන්නන්න බැහැ" "ඒ වුණාට මෙයා එහෙම කරදරකාරයෙක් නෙවෙයි" මන් ඌගේ හිස අතගාමින් පැවසුවා.ඒත් ටිගර් කියන නමට මන් කැමති වුණා.පශු වෛද්‍යවරයා පවසපු විදියට ටිගර්ට වයස අවුරුදු දහයක් පමණ වෙනවා.මන් වත්තේ කොණක ටිගර්ට කූඩුවක් හදලා,දැල් ගහලා ආවරණය කළා.

                                           කාලයත් සමඟ ටිගර් අපේ ජීවිතේ කොටසක් බවට පත් වුණා.ගෙදර තනියෙන් තියන්න බැරි නිසා මන් ටිගර්ව වෙළෙදසැලට අරන් ගියා.වෙළෙදසැලේ මුල්ලක් මන් ඌට සුදුසු විදියට ඉන්න හදලා දුන්නා.වයස්ගත නිසාම ටිගර් පැත්තකට වෙලා ඉන්නයි කැමති වුණේ.ඒත් වෙළෙදසැලට එන පාරිභෝගිකයන් සමඟ ඌ ඉක්මනින්ම යහළු වුණා.වෙළෙදසැලට එන කුඩා ළමුන් ටිගර්ගේ හිස පිරිමැද යන්න අමතක කළේ නැහැ.ටිගර්ගේ ආචාරශීලි ගති පැවතුම් ගැන මන් පවා විමතියට පත් වුණා.දිනක් වෙළෙදසලට පැමිණි මගේ හිතවත් පාරිභෝගිකයෙක් ටිගර්ව හදා ගන්න ඉල්ලුවා.එදා මගේ සහයට වෙළෙදසැලේ විලීත් හිටියා. "අනේ බැහැ ජේම්ස්,ටිගර් නැති අඩුව අපිට දරා ගන්න බැරි වෙයි" මන් කට අරින්න කලින් විලී ඉස්සර වුණා.සත්තුන්ට අකමැතිව හිටිය විලීගේ හිත පවා වෙනස් කරන්න ටිගර් සමත් වුණා.


                                     හැමදාම හවසට මන් ටිගර්ව ඇවිදින්න එක්කගෙන ගියා.ඒත් ටික දුරක් යනකොට ඌ වෙහෙසට පත් වී නැවතුණා.මුලදි කෑම අරුචියකින් පෙළුනත් ප්‍රතිකාර එක්ක ඒවා මඟහැරිලා ගියා.කාලය ගත වෙන කොට බරින් වැඩි වෙලා අළුතෙන් ලෝම පවා වර්ධනය වී ටිගර්ට නිරෝගී පෙනුමක් ගෙන දුන්නා.අපි රූපවාහිනිය නරඹන කොට එයත් අපි දෙන්නා අතරට වෙලා හිටියා.චොක්ලට් තබා තියෙන ස්ථානයට යන කොට ඌ හොම්බ උඩට හරවලා ඉව අල්ලන ගමන් කෙදිරි ගෑවේ තමන්ට ඒවා අවශ්‍ය බව හඟවමින්.



                          එක් සන්ඳ්‍යාවක විලී පුවත්පතක් කියවමින් සිටියදී,ටිගර් ඔහුට සමීප වුණා.අනතුරුව ඌ සිය ඉදිරි දෙපා විලීගේ දණහිස මත තබා මොහොතක් විලීගේ මුහුණ දෙස බලා හිටියා.විලීත් මමත් නිශ්ශබ්දව හිටියේ ටිගර්ගේ ඊලඟ පියවර මොකක්ද කියලා දැන ගන්න​.බොහොම අපහසුවෙන් විලීගේ උකුළ මතට පැන්න ඌ,විලීගේ උකුළ මත වාඩි වුණා.එහෙම හැසිරීමක් ටිගර්ගෙන් අපි මීට කලින් දැක්කේ නැහැ.ඌට එහෙම්මම ඉන්න ඉඩ ඇරලා විලී ආපහු පුවත්පත කියවන්න පටන් ගත්තා.


                   අපි උද්‍යානයට යන කොට ගියේ ටිගර් සමඟ​.ඒත් එයා එහෙ මෙහෙ ඇවිදින්නේ නැතුව අපි අසළ රැදෙන්නයි කැමති වුණේ. "ලෝම අතරින් හුළන් එනවට එයා කැමතියි" මන් පැවසුවා.උද්‍යානයට සිය හාම්පුතුන් සමඟ පැමිණි සුනඛයන් ඔවුන් සමඟ සෙල්ලම් කරද්දී ටිගර් උපේක්‍ෂාවෙන් ඒ දිහා බලන් හිටියා විතරයි.වයස්ගත නිසාම විසි කරපු දඩු කැබැල්ලක් ආපහු රැගෙන එන්න​,තමාගේ අයිතිකරුවව සෙල්ලමට අල්ල ගන්න වගේ ශක්තියක් ටිගර්ට තිබුණේ නැහැ.අඩුම තරමේ හයියෙන් බුරන්නටවත් හැකියාවක් තිබුණේ නැහැ.ඇත්තටම ටිගර් කියන්නේ නිවෙන්න ළං වෙච්ච පහනක්.අපි ඒ බව තේරුම් අරගෙනයි හිටියේ.

                               වරක් මුහුදු වෙරළේ පවත්වපු සැණකෙලියට සහභාගි වෙන්න අපි ටිගර් සමඟ ගියා.වේගයෙන් හමන සුලඟට යන්තමින් වෙව්ලමින්,ඇසිපිය වේගයෙන් ගසමින් ටිගර් තමන්ගේ පෙනීම මද බව අපිට මතක් කරලා දුන්නා.අපි සැණකෙලියට සහභාගී නොවී ඉක්මනින් ගෙදර ආවා.

                      එක දවසක් ටිගර් පඩි පෙළ අපහසුවෙන් නැඟ ගෙන එන කොට ගරාදි අතරින් බිමට වැටුණා.එයාට අනතුරක් නොවුනත් මම ගරාදි වැට දැල් ගසා ආවරණය කළා.ඊට දින කිහිපයකට පසු,උදෑසනක ටිගර් කූඩුවේ හිටියේ නැහැ.පඩි බැහැගෙන මේ දුර්වල සතා කොහේ යන්නද​! අපි දරුවෙකු හොයනවා වගේ වේදනාවෙන් ටිගර්ව හොයන්න පටන් ගත්තා.ඒත් හෝඩුවාවක් නැහැ. "අසරණ සතා බඩගින්නෙයි ඇත්තේ" විලී වේදනාවෙන් පැවසුවා.දින දෙකකට පස්සේ වෙනත් වීදියක සිටින බල්ලෙකු පිළිබද දැන ගන්න ලැබී, අපි සැළකිය යුතු දුරක් ගෙවා ඒ ආරංචිය ඔස්සේ ගියා.ටිගර් දුර්වල විලාසයකින් ගහක් යට වැතිරිලා ඉන්නවා අපි දැක්කේ එතකොටයි.
             
    අපේ කට හඩ ඇසුණු සැණින් වල්ගය සෙලවූ ඌ,නැඟිටින්නට ගොස් නැවත ඇද වැටුණා. "දැන් තමයි හිතට සැනසීමක් දැනෙන්නේ" මන් පැවසුවා.ටිගර් තමන්ගේ කූඩුව හැර දමා මෙතරම් දුරක් ආවේ ඇයි කියන එක අපිට අදටත් ප්‍රශ්නයක්. ටිගර් තමන්ගේ මුල් අයිතිකරුවන් සොයන්නට උත්සාහයකවත් යෙදුණද​?

                         අපි වැඩි හොදට පශු වෛද්‍යවරයෙක් ලඟට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නා.ඉක්මනින් සුවය ලැබුවත්,අතරමන් වීම නිසාමදෝ ඌ දින කිහිපයක් හිටියේ තැති ගැන්මකින්.

                        මැයි මාසයේ එක් සැදෑවක අපේ කුළුපඟ මිතුරෙකු වුණු ස්ටෙෆන් නිවසට පැමිණියා.මීට කලින් කිහිප වතාවක්ම අපේ නිවසට පැමිණ ඇති නිසා ස්ටෙෆන්ව දුටු සැණින් ටිගර් වල්ගය සෙලෙව්වා.ස්ටෙෆන් කියන්නේ දක්‍ෂ නර්තන ශිල්පියෙක්.ලඟදි පවත්වපු නර්තන තරඟයකින් ස්ටෙෆන් ජයග්‍රහණය කළා.ඒ සතුට බෙදා ගන්නත් එක්ක තමයි අපිව මුණ ගැහෙන්න ආවේ.විලීගේ පෙරැත්තය නිසාම ජයග්‍රහණයට හේතු වූ නර්තනයෙන් කොටසක් ඉදිරිපත් කරන්න ස්ටෙෆන් කැමති වුණා.

           අපි අසළ සිටි ටිගර්,ස්ටෙෆන්ගේ දෙපා චලනය වන හැටි දිහා මොහොතක් බලාගෙන හිටියා.ඊලඟ මොහොතේ අපි තිදෙනාව පුදුමයට පත් කරමින් ටිගර් උඩ පනිමින්,ස්ටෙෆන්ගේ ඇඟේ එල්ලමින්,කකුල් අතරින් රිංගමින් ස්ටෙෆන් සමඟ සෙල්ලම් කරන්න පටන් ගත්තා.ටිගර්ගෙන් මෙවන් ක්‍රියාශීලී හැසිරීමක් අපි දැක්කමයි මේ.ඒත් ඉක්මණින් ඌ වෙහෙසට පත් වුණා,නැවත මගේ දෙකකුල් අතරට විත් ඉද ගත්තා.ටිගර්ගේ අතීතය දුක්මුසු,පීඩනයට පත් වුණු එකක් කියලයි මට හිතුණේ.ඒත් දැන් එයා නිවෙන්නට ආසන්න පහන් දැල්ලක ආලෝකය වැඩි වෙන්නා සේ සතුටින් කාලය ගෙව්වා.
                 
                කාලය ගතවී වසරක් පමණ ගෙවී ගියා.අන්තිමේදී ඒ දිනය උදා වුණා.නත්තල් දිනය පසුවී දින කිහිපයක් ගියායින් පස්සේ ටිගර් ආහාර ප්‍රතික්‍ෂේප කළා.එන්න එන්නම් ඌ දුර්වල වුණා.අමාරුවෙන් හුස්ම ගනිමින්,උදාසීනව පැය ගණන් එකම තැනකට වෙලා ඉන්න එක තමයි කළේ.අපි වහාම ටිගර්ව වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගියා. "එයාගේ දතක ආබාධයක්" වෛද්‍යවරයා පැවසුවා. "ඉතින් අයින් කරන්න බැරිද​?" මන් ඇහුවා. "පුළුවන්,ඒත් සතාගේ වයස එක්ක බලද්දී ඒක නොගැලපෙන සැත්කමක් " අපි ටිගර්ව නැවත නිවසට රැගෙන ගියා.අපි සිරිංජරයකින් දියර වර්ග ටිගර්ගේ මුවට හැළුවා.

       ඒත් එන්න එන්නම අසරණ සතා දුර්වල වුණා.ටිගර්ව හමු වුණු පළමු දවසටත් වඩා දැන් ශරීරය කෙට්ටු වී තිබුණා.අපි නැවත වතාවක් කලින්  වෛද්‍යවරයා ගාවට ටිගර්ව රැගෙන ගියා.හොදින් පරික්‍ෂා කර බැලූ  වෛද්‍යවරයා අප දෙස බැරෑරුම් බැල්මක් හෙළුවා.අපි ප්‍රශ්නාන්කයක් දල්වා ගෙන වෛද්‍යවරයා දෙස බලාගෙන හිටියා. "ටිගර්ට වකුගඩු ආබාධයක්,එච්චර බලාපොරොත්තු තියා ගන්න බැහැ" අපි හිටියේ දැරිය නොහැකි ශෝකයකින්.දින කිහිපයක්ම ප්‍රතිකාර සදහා අපි ටිගර්ව ඒ  වෛ ද්‍යවරයා වෙත රැගෙන ගියා. "එයාව ගෙනියන්න​,බේර ගන්න බැහැ.සතුටු තැනක ඉන්න දෙන්න​.එච්චරයි කරන්න පුළුවන්" අවසානයේ ඔහු පැවසුවා.

            ටිගර් ගොඩක් ආස කළේ අපේ නිදන කාමරයට වෙලා ඉන්න​.අපි නොනිදා ටිගර් අසළට වී කාලය ගෙව්වා.අමාරුවෙන් හුස්ම ගන්න සද්දේ මුළු කාමරය පුරාම පැතිරුණා.ඔහුගේ වේදනාව තවදුරටත් දරා ගන්න අපිට හැකි වුණේ නැහැ.අන්තිමේදී විලී යම් තීරණයකට එළඹියා.විලී මට එය පැවසුවත්,මුළදි මන් එක හෙලාම විරුද්ධ වුණා. නමුත් මරණාසන්න බව දැන දැන තවත් ඒ අසරණයට දුක් විදින්න දෙන්න පුළුවන් කමක් අපිට තිබුණේ නැහැ.අන්තිමේදී මන් විලීගේ තීරණයට එකඟ වුණා.

                   මම ටිගර්ව උකුළේ තියා ගෙන වාහනේ ඉදිරි අසුනේ වාඩි වුණා.රිය පදවන අතරෙත්,විලීගේ ඇස් වල කදුළු මතු වෙලා තියෙන හැටි මන් දැක්කා.සත්ව රෝහල අසළ වාහනය නැවැත්වූ විලී, "ඔයා කැමති නම් එන්න​" කිසිත් නොපවසා මන් වාහනයෙන් බැස්සා.ඒ වෙන කොටත් වෛද්‍යවරයා එන්නත රැගෙන සූදානම්ව හිටියා. "එයාට මුකුත් දැනෙන්නේ නැහැ.ඉබේම ඇස් පියවෙයි" මගේ ඇස් වල කදුළු දුටු වෛද්‍යවරයා පැවසුවා. "ආයුබෝවන් කොල්ලෝ" මන් වැතිර සිටි ටිගර්ගේ කණට ළං වී පැවසුවා. ටිගර් යන්තමින් වලිගය සොලවනවා මන් දැක්කා.

           තවත් එතන රැදෙන්න මට අපහසු බවක් දැනුන නිසා වහා කාමරයෙන් පිටවී,වාහනය නැවැත්වූ ස්ථානයට පැමිණියා.පැය භාගයකින් පමණ විලී ආපහු එනවා මන් දැක්කා. "ඒක ඉවරයි සෙත්,මන් දිහාම බලාගෙන හිටියා.පස්සේ හෙමීට ඇස් දෙක පියා ගත්තා" විලී අත්ලෙන් කදුළු පිහිමින් පැවසුවා.

           බොහෝ දිනක් ගත වන තුරු අපේ දුක තුනී වුණේ නැහැ.ටිගර්ගේ මතක සටහන් නිවසේ හැම තැනම ඉතිරි වෙලා තිබුණා.තිරිසන් සතෙක් වුණත්,පහුගිය වසරක කාලය තුළ​,ටිගර් අපේ ජීවිතේම කොටසක් බවට පත් වුණේ පුදුම විදියට​.ටිගර් ආවේ කොහෙන්ඳ​? කලින් හිටියේ මොන වගේ තැනකද​? මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ.ඒත් හදිස්සියේම අපේ ගෙවත්තට වැරදීමකින් හෝ තෝරාගැනීමකින් හෝ පැමිණි මේ ආගන්තුකයා ,මෙතරම් කල් අපේ ජීවිත ගලාගෙන ගිය ආකාරය වෙනස් කළා.

                    ටිගර් අපි සමඟ සිටි වසරක කාලය තුළ අපිව කාර්‍යබහුල කළා,වියදම් අධික වුණා.ඒත් අවසානයේ දුක පමණක් අපිට ඉතිරි වුණා.අපේ මිතුරන් පැවසුවේ ටිගර් වයස්ගත බැවින් ඔහුව ලඟ තබා ගැනීම මෝඩ කමක් බවයි.ඒක ඇත්ත වෙන්න පුළුවන්,ටිගර් කියන්නේ අවලස්සන​,වයසක​,දුර්වල බල්ලෙක්.ඒත් ඔහු ලඟ තිබූ කීකරුකම ආචාරශීලී බව වගේම ඇතැම් විට මිනිසුන් තුළ පවා දක්නට නොලැබූ උසස් ගුණාංග නිසා අපේ ජීවිත ආලෝකමත් වුණා.
               
ටිගර්ගේ මරණයෙන් මාස කිහිපයකට පසු අපිට ස්ටෙෆන්ගේ උපන්ඳින සාදයට සහභාගි වෙන්න, තරමක් දුරින් පිහිටි නගරයක තිබූ ස්ටෙෆන් ගේ නවාතැනට ගියා. ස්ටෙෆන්ගේ බලවත් ඉල්ලීම නිසා අපිට ආපහු නිවස බලා එන්න වුණේ පසු දින උදෑසන​.නිවසට එන අතරමඟ අපි එන්නේ ශාන්ත ලුසියා ළමා නිවාසය පසු කරමින්.ඒ වෙන කොට මාර්ගයේ වාහන තදබදයක් තිබුණා.ළමා නිවාසයේ කුඩා ළමුන් එහි විශාල මිදුලට වී සෙල්ලම් කරන හැටි මන් බලන් හිටියේ බොහොම ආශාවෙන්.

                              "ඔයාට හිතෙන්නෙත් මට හිතෙන දේමද​?" සුක්කානම මත අත් තබා ගෙන ඈත ළමුන් සෙල්ලම් කරන හැටි විලීත් බලාගෙන හිටියා. "මට තේරුණේ නැහැ?" මන් විලී දෙස බැලුවා.

         "හ්ම්ම්.. ටිගර් කියන්නේ තිරිසන් සතෙක් වුණත්,මෙච්චර කාලයකට නොවැහටුණු ලොකු දෙයක් එයා තේරුම් කරලා දුන්නා මට​" "ඒ මොකක්ද​?" "අපි දෙන්නා කොච්චර ආදරෙන් හිටියත් සෙත්,අපි දෙන්නා අතර ලොකු හිස් තැනක් තියෙනවා.ටිගර් ජීවතුන් අතර ඉන්න කොට එයා තමන්ට පුළුවන් විදියට ඒ හිස්තැන පිරෙව්වා.ඒත් ටිගර් අපිව දාලා ගියාම​, වෙනදටත් වඩා ඒ හිස්තැනේ අඩුපාඩුව මට දැනුණා.ඔයා මොකද කියන්නේ සෙත්,හෙට මන් නිවාඩු දාන්නම්,අපි ගිහින් ශාන්ත ලුසියා ළමා නිවාසේ පාලිකාව මුණ ගැහෙමුද​?"

          මන් මොහොතක් කල්පනා කළා.අළුත් බලාපොරොත්තුවක් සිත තුළ ජනිත වන බවක් හැඟුණා මට​.සිනහාමුසු මුහුණින් විලී දෙස බැලූ මම ,හිස වනා විලීගේ යෝජනාව අනුමත කළා.

                      ජීවිතයේ කෙතරම් අමිහිරි අත්දැකීම් ලැබුවද​,සෑම විටම බලාපොරොත්තුවක්ද ඒ තුළ ගැබ්වී පවතී.ආදරය කරන්නට​,සබදතා ගොඩ නගන්නට හැම විටම කාලය තිබේ.අවසාන හුස්ම හෙළන මොහොතේ වුවද ඔබට සතුටු විය හැක​.ටිගර් අපිට ඒ පාඩම කියා දී තමන්ගේ ජීවිත ගමන සන්සුන් ලෙස අවසාන කළේ ඔන්න ඔය විදිහට​.

No comments:

Post a Comment